Thursday, November 27, 2014

අසීමිත ආශාවන් පස්සේ ගිය අන්තිම නරක ගැහැණියෙක් මං!

දෙවියෙක් බඳු වූ
පෙම්වතා හැර
අනියම් පෙමක
පැටළුණු තරුණියකට
අත් වූ ඉරණම

ආදරය කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කිසිදු වෙනස්කමක් නොමැති ‍පොදු මිනිස් ධර්මතාවයකි. එයට වයස්, ජාති, ආගම් හෝ දුප්පත් ‍පොහොසත් භේදයක් නොමැත. 
එය ලෝකය පිළිගන්නා සත්‍යයකි. අපේ රටේ ඈත පිටිසර ගමක දිළිඳු තරුණියකගේ සිතේත් යුරෝපයේ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙළිලොල් තරුණියකගේ සිතෙත් ඇති වන ප්‍රේමය බොහෝ විට එක සමාන වන්නේ ඒ නිසාය. එහෙත්, ලෝකය විවිධාකාරයෙන් වෙනස් වීමත් සමග මිනිසුන්ගේ සිතුම් පැතුම්ද
එයට සමගාමීව වෙනස් වේ. එම නිසා ප්‍රේමය වැනි සංවේදී කාරණා මිනිසුන්ගෙන් ටිකෙන් ටික ගිලිහෙමින් ඇති දැයි නොයෙකුත් සිද්ධීන් අසන දකින විට අපට සිතේ.

කෙසේ හෝ අද ලෝකයේ ප්‍රේමය යන්න හුදු ආත්මාර්ථකාමී පටු සිතිවිල්ලක් බවට පත්වී හමාර ය. එහෙත්, රෝමියෝ ජුලියට් වැනි ආදරවන්තයන් ජීවත් වූ රටේ එවැනි ප්‍රේමය වෙනුවෙන්ම ජීවිතය කැප කළ අය ගැන දැනුදු ඉඳහිට අසන්නට ලැබේ. අප පවසන්නට යන්නේ එවැනි කතාවකි. එහෙත් එය තරුණ පෙම්වතෙකු පිළිබඳව නම් නොවේ. ඉතා ධනවත් ප්‍රසිද්ධ වෛද්‍යවරයකු පිළිබඳ මේ ආදර කතාව බොහෝ දෙනකු අතර සාකච්ඡාවට බඳුන් වූයේ එම වෛද්‍යවරයාගේ ප්‍රේමය සැබවින්ම උතුම් කැප කිරීමක් නිසා ය.

මෙම වෛද්‍යවරයා කුඩා කල සිටම ඉතාම ධනවත් පවුලක එකම දරුවා ය. ඔහුගේ දෙමාපියන් ද වෛද්‍යවරුන් වන අතර, ඔවුන්ට පරම්පරාවෙන් පැවැත ගෙන ආ විශාල ධන සම්පත්ද තිබි ඇත. ඔහු අධ්‍යාපනය හදාරා අවසන පිළිකා රෝග සම්බන්ධ රට තුළ ඉතාමත් ප්‍රසිද්ධ දක්ෂ වෛද්‍යවරයකු බවට පත්වී තිබේ. ඒ ඔහුගේ සහජ දක්ෂතාවයෙනි. මේ වෛද්‍යවරයා පසුගිය දිනක හෘදයාබාධයකින් මිය යාමෙන් පසුව ඔහුගේ බිරිඳ සමග පැවැත් වූ සාකච්ඡාවේ දී ඇය කියා සිටියේ ඉතාමත් සංවේදී කතාවකි.

මෙම වෛද්‍යවරයා ටික කලක් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ඔහුගේ ප්‍රථම ප්‍රේමය ඔහුට මුණගැහෙන්නේ එහිදී ය. ඇය ඈත පිටිසර ගමකින් පැමිණි දුප්පත් තරුණියකි. ඔහු ඇයට බොහෝ සේ ප්‍රේම කර ඇති අතර ඇය ද ඔහුට එසේ ප්‍රේම කර ඇත.

ඒ අතර කාලයේ ආචාර්යවරයා විසින් ඇයට ඉගෙනීමට ඇවැසි සියලු වියහියදම් සේම ඇයගේ වුවමනා එපාකම් සොයා බලා ඇයව දරුවෙකු සේ රැක බලාගෙන ඇත. කාලය ගතවෙද්දී ඇයව තමන්ගේ පවු‍ලේ අයටද හඳුන්වා දුන් ඔහු රැකියාව ලෙස වෛද්‍ය වෘත්තිය තෝරාගෙන ඇත්තේ ඉක්මනින් ඇය හා විවාහ වන බලා‍පොරොත්තුවෙනි. ඔහුගේ රැකියාව නිසා ඔහුට ඇයගෙන් වෙන්වී වෙනත් නගරයකට යාමට සිදුවී ඇත්තේ මේ අතරය.

ඔහුගේ දුරස්වීමෙන් තමන් බොහෝ පාළුවට දුකට කනස්සල්ලට පත්වූ බව පවසන ඇය එහිදී තමන්ටම දොස් පවරාගෙන ඇත.

“මම අන්තිම නරක කෙනෙක්.... ඔහු මට එතරම් ආදරය කරද්දීත් මගේ හිත මගේ විශ්ව විද්‍යාලයේ යාළුවෙකු වෙත බැඳුණා... මට මොන යකෙක් වැහුණද මන්දා. මම කාර්ලෝට වඩා අනික් පෙම්වතාට ආදරය කරන්න ගත්තා.... කාර්ලෝට මේ ගැන ආරංචි වෙලා ඇවිත් මගෙන් ඇහුවා "මේක ඇත්තක්ද...?" කියලා. මමත් කිසිම මනුස්සකමක් නැතිව ‘ඔව්...’ කියලා පිළිගත්තා.

එදා ඒ වෙලාවේ එයාගේ මූණේ ඇතිවුණු හැඟීම මතක් වෙනකොට මට පුදුම වේදනාවක් දැනෙන්නේ....”අවසානයේ වෛද්‍යවරයා ඇයගෙන් සමුගෙන ඇති අතර, එම තරුණිය අලුත් පෙම්වතා සමගින් විවාහ වී ඇත.

වසර ගණනාවකට පසුව වෛද්‍යවරයාට නැවතත් තම පෙම්වතිය හමුවන්නේ පිළිකා රෝහ‍ලේ තමන්ගේම වාට්ටුවෙනි. ඒ වන විට ඇය දෙදරු මවකි. ඒ වන විට ඇයගේ සැමියා ඇය හැර ගොසිනි. ඇය පිළිකා රෝගයකට බඳුන්වී ඇති අතර ඇගේ හදිසි අනතුරක් හේතුවෙන් ඇයගේ දෙපා ශරීරයෙන් ඉවත් කර රෝද පුටුවක දිවි ගෙවමින් සිටියා ය.

වෛද්‍යවරයා එතෙක් විවාහ වී නොතිබූ අතර මිනිසුන් වෙනුවෙන් නිහඬ සේවයක් කරමින් පැරණි මතකයන් අතර ඔහු දිවි ගෙවා ඇත. ඒ වන විට ඔවුන් දෙදෙනාම වයස පනස් ගණන්වල පසුවී ඇත.

“කාර්ලෝ දැක්කම මට පුදුම අසරණකමක්, ලැජ්ජාවක් දැනුණා. මම කරපු වැරදිවලට දඬුවම් මට දෙවියන් ලබලා දීලා කාර්ලෝ ළඟටම එවලා නේද...? කියලා මට හිතුණා. ඒත් එයා නම් එහෙම නිකම්වත් හිතුවේ නෑ.... මාව දැක්කම එයා ගොඩක් සතුටු වුණා. මාව සනීප කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න එයා ‍පොරොන්දු වුණා විතරක් නෙමෙයි දරුවෝ දෙන්නා ගැනත් හොයලා බැලුවා.


විධිමත් ඖෂධ ප්‍රතිකාර වගේම කාර්ලෝගේ ආදරය, කරුණාව හින්දා මගේ රෝගය ගොඩක්දුරට හොඳ වුණා. එයාගේ ප්‍රතිකාර නිසා අන්තිමේ දී එයා මට නැවත විවාහ යෝජනාවක් ගෙනාවා.... එදා නම් මම ගොඩක් ඇඬුවා.... ඒ සතුටටයි, දුකටයි දෙකටම....”

අවසානයේ ඇය එම වෛද්‍යවරයා හා විවාහ වී ඇති අතර, දරුවන් දෙදෙනාද ඔවුන් සමගින් ජීවත් වීමට පැමිණ ඇත. එහෙත්, ඇය පවසන ආකාරයට සාමාන්‍ය විවාහකයන් අතරේ මෙන් කිසිම ආකාරයක සම්බන්ධතාවක් ඔවුන් අතර තිබි නොමැත. එය හුදෙක් පිවිතුරු පෙම පමණක් පදනම් වූ විවාහයක් වී ඇත.

“කාර්ලෝ මොනතරම් කරුණාවන්ත මනුස්සයෙක්ද? කියන්න මට තේරෙන්නේ නෑ..... ඔහු මට පිහිට වුණේ දෙවියෙක් වගෙයි.... ඔහුට කොහෙත්ම මම වගේ කෙනෙක් විවාහ කරගන්න අවශ්‍ය නෑ..... ඔහු අවසාන මොහොත දක්වාම මගේ ජීවිතය සුවපත් කරන්නයි වෙහෙසුණේ.

ඔහු මිය යන්න කලින් මගේ දරුවන් වෙනුවෙනුත්, මම වෙනුවෙනුත් ගොඩක් දේවල් කළා.... අපිට කවදාවත් කිසිම දුකක් කරදරයක් නැතිව ජීවත්වෙන්න වටපිටාවක් හදලා දුන්නා... මගේ දරුවන්ට පියෙක්ගෙන් වෙන්න ඕන හැම යුතුකමම ඔහු කළා....”

කාලයක් ඇයත් සමගින් ඉතා සෙනෙහසින් ජීවත් වුණු ඔහු හදිසියේ මියගොස් ඇතත් ඔහු නිසා සුවපත් වූවන්ගේ මෙන්ම මෙම කාන්තාවගේ ද හදවතේ ඔහු දෙවියෙකු ලෙස වැඩ සිටින බව ඇය පවසයි.

‘ප්‍රේමය අයිති දෙවියන්ටය..’ යන මෙහි ප්‍රසිද්ධ කියමනක් තිබේ. ඇය පවසනුයේ ඔහුද එවන් දෙවියෙක් යන්න ය. සැබැවින්ම එවන් පුද්ගලයන් නිසාම ලෝකයේ තවදුරටත් ප්‍රේමය හා මනුෂ්‍යත්වය රැඳී පවතින බැව් පිළිගැනීමට අපටත් සිදුවෙනවා නොවේද?

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...